“දීර්ඝ කලකට රට සෙසු රටවලට සිය දේශසීමා විවෘත නොකරන” බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් (Jacinda Ardern) පවසයි.

ඔස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමකට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වීමෙන් පසුව ඇය මේ බව ප්‍රකාශ කළාය.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොරව නිදහසේ ගමන් කළ හැකි “ගිවිසුමක්” පිළිබඳ එම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

නමුත් ඇය පැවසුවේ අමුත්තන්ට රට විවෘත කිරීම ඉක්මනින් සිදු නොවන බවය.

කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකම සියලු ම විදේශිකයින්ට ඔවුන්ගේ දේශසීමා වසා දමා ඇත.

ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ කුමක් ද?

“ආරක්‍ෂිත සංචාරක කලාපයක් ගොඩනැගීමට” නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර සාකච්ඡා පැවැත්වූ බව ජසින්ඩා ආර්ඩර්න් පැවසුවාය.

“අපට ඉදිරියට යාමට පෙර තව බොහෝ වැඩ කළ යුතුව තිබෙනවා … නමුත් පැහැදිලිව ම මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එයින් ලැබෙන ප්‍රතිලාභ නිසා,” යැයි ඇය අවධාරණය කළාය.

රටේ සංචාරක අංශය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ, “ඉදිරියේදීත් දීර්ඝ කාලයක් යනතුරු අපට ලෝකයට දේශසීමා විවෘත කරන්න ලැබෙන්නේ නැහැ,” යනුවෙනි.

සංචාරක ව්‍යාපාරය යනු නවසීලන්තයේ විශාලතම කර්මාන්තවලින් එකක් වන අතර එයට රටේ ශ්‍රම බලකායෙන් 10%ක් පමණ සෘජුව ම දායක වන අතර, දළ දේශීය නිෂ්පාදනයෙන් 6% කට ආසන්න ප්‍රමාණයකට දායක වේ.

එරටට වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ ඔස්ට්‍රේලියාවෙන් වන අතර, චීනය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියෙන් ද සැලකිය යුතු පිරිසක් පැමිණේ.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ කොරෝනාවෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද?

වෛරසය පාලනය කිරීමේ “ලොව ප්‍රමුඛතම ක්‍රියාදාමයක්” අනුගමනය කිරීම මත පමණක් පදනම්ව දෙරට අතර ඕනෑම “ගිවිසුමක්” සලකා බැලිය හැකි බව ජසින්ඩා ආර්ඩර්න් පැවසීය.

අඛණ්ඩව දෙවන දිනය තුළ ද නවසීලන්තයේ (මැයි 5) එක් කොරෝනාවෛරස ආසාදිතයෙකු හෝ වාර්තා වී නොමැත.

එරටින් සනාථ වී ඇත්තේ රෝගීන් 1,500 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, මරණ 20 ක් වාර්තා විණි. පසුගිය සතියේදී රට විවෘත කිරීම හතර වන පියවරේ සිට තෙවන පියවර දක්වා ලිහිල් කළේය.

මිලියන 25 ක් පමණ ජනගහනයක් සිටින ඔස්ට්‍රේලියාවෙන් 7,000 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ 96 ක් වාර්තා වී තිබේ. එය නවසීලන්තයට වඩා පස් ගුණයකින් වැඩි ප්‍රමාණයකි.

නමුත් මේ වන විට එරට ආසාදනය පැතිරීමේ “වක්‍රය සමතලා” වී ඇති අතර, විවිධ ප්‍රාන්ත සහ ප්‍රදේශවල ද සීමා ලිහිල් කර ඇත.

නවසීලන්තය වෛරසයට ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?

වසංගතය මුල් අවධියේදී රට තුළ සංචාරක හා ක්‍රියාකාරකම් සඳහා ලෝකයේ වඩාත් දැඩි සීමා පැනවීමට නවසීලන්තය ක්‍රියා කළේය.

කඩිනමින් සිය දේශසීමා වසා දමා, රට තුළට පැමිණෙන සියලු දෙනා නිරෝධායන කිරීම ආරම්භ කර, සාමාන්‍ය ජන ජීවිතයට දැඩි සීමා පනවා, පුළුල්ව විහිදුණ කොරෝනාවෛරස පරීක්ෂණ සහ ආසාදිතයන් සමග සම්බන්ධ වූවන් සොයා ගැනීමේ මෙහෙයුමක් ද දියත් කළේය.

කාර්යාල සහ පාසල් මෙන් ම මුහුදු වෙරළ, ජලතීරයන්, ක්‍රීඩා පිටි මාර්තු 26 වන දින වසා දමන ලදී. ආහාර පිටතට රැගෙන යා හැකි (take away ) අවන්හල්, හෝටල් සහ තැබෑරුම් ද වසා දැමීමට ක්‍රියා කර තිබිණි.

මෙතරම් ඉක්මනින් සීමා පනවා නොතිබුණේ නම් නවසීලන්තය තුළ දිනකට රෝගීන් 1,000 කට වඩා වාර්තා වීමට තිබූ බව වාර්තාවල සඳහන් වේ යැයි ජසින්ඩා ආර්ඩර්න් පැවසීය.

එය කෙතරම් නරක අතට හැරෙනු ඇත්දැයි කිසි විටෙකත් දැනගත නොහැකි නමුත් “අපගේ සාමූහික ක්‍රියාවන් තුළින් නරකම දේ වළක්වා ගෙන තිබෙනවා” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

නවසීලන්තය පිහිටා තිබෙන දුරස්ත ස්ථානය සහ පහසුවෙන් වසා දැමිය හැකි දේශසීම වෛරසය පැතිරීම පාලනය වීමට උපකාරී වූ බව විශේෂඥයෝ පවසති.

කෙසේ වෙතත්, මෙම අර්බුදය පුරාවට ම පැහැදිලි පියවර සහ දැනුවත් කිරීම් ගැන රජයට ප්‍රශංසා හිමි වී තිබේ.

උපුටා ගැනීම 2020 මැයි 06 බි බි සි සිංහල